- බස්‌නායක නිලමේ හේමන්ත බණ්‌ඩාර හේරත් කියයි
"ඉඩම් කොල්ලය පිටුපස දේශපාලකයන් ඉන්නවා. මට එල්ලවන මරණ තර්ජන ගැන පොලිස්‌පතිට කිව්වත් වැඩක් නෑ"
ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල
ශ්‍රී ලංකාවේ විහාර දේවාලගම් ආඥ පනත යටතේ දේවාලය සතුව පැවති ඉඩකඩම් කිසිම අයුරකින් පැවරීම හෝ විකිණීම සපුරා තහනම්ව තිබුණත් කුරුණෑගල, විල්බාව ශ්‍රී පත්තිනි මහා දේවාලය සතු ඉඩම් අක්‌කර නවදහසක් පමණ ප්‍රමාණයක් වර්තමානයේ දේවාලය සන්තකයේ නොමැති බව වසර කීපයකට පෙර බස්‌නායක නිලමේ තනතුරට පත්වීමෙන් පසු සොයා බැලීමේදී ස්‌ථිර වශයෙන්ම අනාවරණය වූ බව විල්බාව ශ්‍රී පත්තිනි දේවාලයේ බස්‌නායක නිලමේ හේමන්ත බණ්‌ඩාර හේරත් මහතා කියා සිටියේය.
විල්බාව ශ්‍රී පත්තිනි දේවාලය සතු දේපොළ සහ ඉඩකඩම් සම්බන්ධව තමා බස්‌නායක නිලමේ ධුරයට පත්වීමෙන් පසු දිගින් දිගටම නීත්‍යනුකූලව පරීක්‍ෂණ පවත්වා සොයා බැලූ බවත්, මේ සම්බන්ධව වගකීමක් තිබෙන රාජ්‍ය ආයතනවල නිලධාරීන් කියා සිටින්නේ අදාළ ලේඛන දිරාපත් වී තිබෙන බව යෑයි බස්‌නායක නිලමේවරයා පැවසුවේය.
තමා විසින් කරන ලද පැමිණිල්ලක් මත බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයාගේ නියෝගයෙන් පසු සිදුකළ මිනුම් කටයුතුවලින් අනතුරුව දේවාලය සතුව තිබූ ඉඩම් අක්‌කර විශාල ප්‍රමාණයක් දේවාලයට අහිමි වී තිබෙන බවත්, ඉඩම් මිනුම් ගතකිරීමෙන් පසු ඉඩම් අක්‌කර 1392 ක ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන බවත් හෙතෙම පැවසීය.
දේවාලය සතු ඉඩකඩම් මෙන්ම දේවාල පරිශ්‍රයේ අභ්‍යන්තරයේ ඇති පෞරාණික වටිනාකමක් තිබූ භාණ්‌ඩද අතුරුදන්වී තිබෙන බවත්, දේවාලය සතු ඉඩකඩම් කොල්ලය පිටුපස දේශපාලන හස්‌තයක් ඇති බවත් ඔහු කීවේය.
විල්බාව ශ්‍රී පත්තිනි දේවාලය රාජාධිරාජසිංහ රජතුමන් විසින් 1792 දී ආරම්භ කළ ඓතිහාසික වටිනාකමක් තිබෙන එකක් බවත්, 1818 දී එවකට කුරුණෑගල දිසාව භාරව සිටි හැරල්ඩ් රයිට් ආණ්‌ඩුකාරවරයා විසින් භාරයක් ඔප්පු කිරීමට දේවාලයට අක්‌කර 3000 ක ප්‍රමාණයක් පූජා කර තිබෙන බවත්, දේවාලයේ රාජකාරි කටයුතු සඳහා ගම්වර 19 ක අක්‌කර 6000 කට අධික බිම් ප්‍රමාණයක් දේවාලය සන්තකයේ තිබුණ බවට ඓතිහාසිකව තොරතුරු තිබෙන බවත් බස්‌නායක නිලමේවරයා පැවසුවේය.
විල්බාව ශ්‍රී පත්තිනි දේවාලයේ ඉඩම් කොල්ලය සම්බන්ධව සොයා බැලීමේදී තමාට මරණීය තර්ජන එල්ල වන බවත් මෙම අවදානම් තත්ත්වය සම්බන්ධව පොලිස්‌පතිවරයාට පැමිණ පැමිණිලි කළත් එයට සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණ බවත් බස්‌නායක නිලමේ හේමන්ත බණ්‌ඩාර හේරත් මහත්මා පැවසුවේය.
Source : Divaina.com

No comments:
Post a Comment